2016 දෙසැම්බර් 24 වන සෙනසුරාදා

කිරි අප්පට බල්ලෝ කාපි නත්තල් සීයා යකෝ....

 2016 දෙසැම්බර් 24 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 157

කවුද ඇවිල්ලා ඇවිල්ලා දොරට ගැහුවා උදේ පාන්දර.

- මේ බඩු වගයක් එවලා තියෙනවා ගන්නෙ නැද්දෝ.....
- කවුද ඔය මොනවද බඩු කිරි
- කිරි නෙමෙයි පාන්. එළියට ඇවිල්ලා බලාපල්ලා. මේ ජිලාගේ ගෙදරද?
- ඔව් ඔව්
- එහෙනම් වර එළියට... මට තව වැඩ තියෙනවා.
- කවුද යකෝ මට නිකම් කෝචෝක් එකට කතා කරන එකා කියලා බලන්න මම ආවා එළිටය. කිරි අප්පව බල්ලෝ කාපි නත්තල් සීයා යකෝ...
- නත්තල් සීයේ...
- නත්තල් සීයා.. දෙනොප් බලාගනින් කන පැලෙන්න. මම නත්තල් සීයා නෙමෙයි.
- එහෙනම් වෙන කවුද? 

- නත්තල් සීයා මැරැණා. මම නත්තල් අයියා... ආවා මෙතන සීයා සීයා ගාන්න. 
ඉතින් නත්තල් අයියා මට තෑග්ගක් දෙන්න වගේ කරේ තිබුණ මල්ලට අත දැම්මා. අත දාපු ගමන් මෙන්න යකෝ ටුවක්කුවක් ගත්තා අතට. 

- මේ මේ මේ මොකද්ද....?
- ඇයි මොකද බයද?
- බයද නෙමෙයි දුකයි
- මොකද දුක. යකෝ ටුවක්කුවක් ගත්තම දුක් වෙන්න කලින් බය වෙයන්
- නෑ මම හිතුවේ චොකලට් ගෙනැල්ලා කියලා
- චොකලට් දාලා වෙඩි තියන්න තමයි හදන්නෙ උඹට හිටපන්...
- අනේ අනේ අනේ අනේ නත්තල් සීයේ
- සීයේ නෙමෙයි යකෝ අයියේ
- අනේ නත්තල් අයියේ පින් සිද්ධ වෙයි. මට මෙන්න මේ උදව්ව කරන්න.

නත්තල් සීයා.. දෙනොප් බලාගනින් කන පැලෙන්න. මම නත්තල් අයියා...

- මොකද්ද? 
- මාව මරන්න කලින් මරන්න හේතුව කියන්න
- තෝව මරන්න... ? තෝව මරලා මස් කන්නද යකෝ. මෙන්න මෙහෙට වර
එහෙම කියද්දිම ආවා සුදු වෑන් එකක්. දෙන්නෙක් මාව බොටුවෙන් අල්ලලා ඔබා ගත්තා ඒකට
අප්පද බොල සංසාරේ මුළු වෑන් එකෙක් එකයි අපේ යාළුවෝ. ජොන්ටියයි, පාලයයිත් ඉන්නෙ. ජොන්ටියා මොකද්ද කියනවා මට තේරෙන්නෙ නෑ. උගේ කට බැඳලා. කොහොම හරි අපි තුන්දෙනාගෙම අතුත් බැඳලා. ඒ පාර මොකද කළේ අත පය කට ලිහා ගන්න ක‍්‍රමයක් කල්පනා කළා. 

- ගැටේට පයින් ගහපන්
මම කිව්වා. 
- හා හා හාහ 
කියද්දීම පාලයා දුන්නා පයින් එකක් ජොන්ටියගේ මූණට කට බැඳලා තිබුණ රෙදි කෑල්ල ගැලවුණා...
- කොහෙද යකෝ මේ යන්නෙ?
- උඹ දන්නවද මේ එක්ක යන්නෙ කවුද කියලා
- කවුද?
- යම රජ්ජුරැවෝ
- මොක්ක?
- ඔව් 
- මේ මැරෙන්ණෙත් නැතුව.
- තොපිට මතක නැති වුණාට මට මතකයිනේ. අපි ආවේ එහේ ඉඳලා මතක නැද්ද ලොක්කා වැඩක් බාර දුන්නා. 
- ඉතින්?
- අපි මෙහෙට ඇවිල්ලා වැඩේ පැහැර හැරියා කියලා එහේට රිපෝට්වෙලා ඒකයි මේ අරන් යන්නෙ.
ඉතින් යන අතරමඟදි අපි කල්පනා කර කර ගියා. වාහනේ යන අතරේ පිටිපස්සේ සීට් එක පැත්තෙන් දුමක් ආවා. අපිට සිහිය නැති වුණා. ඇහැරෙද්දී අපි හිටියේ යම ලෝකේ. යම රජ්ජුරැවෝ ගාව.
- තොපි කරන්න බාර දුන්න වැඩේ කළේ නෑ. තොපි තොපේ වැඩ කළා නේද බොලව්
- අනේ උතුමාණෙනි. ආතල් එක වැඩි වුණාම කරන්න ගිය වැඩේ අමතක වුණා
- මම තොපිට මොනවා කරන්න කියලද මනුස්ස ලෝකෙට යැව්වෙ?
- මනුස්ස ලෝකෙ ලොකු වෙනසක් කරන්න කියලා
- ආහ්.. තොපි මොනවද කළේ?
- අපි එකෙක්වත් කතා කළේ නෑ, යම රජ්ජුරැවෝ ඕවා සහසුද්දෙන්ම දන්නවා වෙන්න බෑනේ. ඒ නිසා මගේ අනුදැනුම ඇතිව කවුරැත් කතා කළේ නෑ.

- කියාපල්ලා ඉතින්... කියන්න බැරි නම් මම කියන්නද...?
යම රජ්ජුරැවෝ පොතක් ගෙන්න ගත්තා. 
- මම තොපිව මනුස්ස ලෝකෙට යැව්වෙ එහේ සුරපුරක් කරන්න හිතාගෙන. මේහේ යම දූතයෝ තොපිට කැමති වුණේ වෙනසක් බලාපොරොත්තුවෙන්. තොපි මොනවද ගිය ගමන් කළේ. වැඩකට ඇති එකම දෙයක්වත් කළාද? 
- ඇයි අපි කහ ඉරි සුදුපාට කළේ?

- යකෝ ඉර සුදු වුණා කියලා රටට වෙන සෙතේ මොක්දද කියාපල්ලා බලන්න.
- මෙහෙමයි ඇතත්ම කිව්වොත් යම රජතුමනි අපිටත් අර කලින් යැව්ව උන්ට වුණ දේම වුණා හිටං
- මොකද්ද ඒ
- ආතල් එක වැඩි වුණාම සේරම අමතක වුණා. හිටං.
- එහෙමද.. තොපිට හොඳ වැඩක් කරන්නම් මම. ආයේ මේ වගේ නොවෙන්න. තොපි තුන්දෙනාම හිසගසා මරා දමන්න තීරණය කරනවා මම.

යම රජා එහෙම කියලා තීන්දුව දුන්නා. අපිට කුදලගෙන එළියට ආවේ යම පල්ලො. මීඩියාවලිනුත් ඇවිල්ලා හිටියා. 
- මොනාද ඔබට කියන්න තියෙන්නෙ..?
- කවදා හරි සාධාරණය ඉෂ්ඨ වෙයි. 

මනුස්ස ලෝකෙදි කොයි කවුරැත් ආතල් එකට කියන කතාව අපිත් කිව්වා. ජොන්ටියා අත් දෙක උස්සලා මාංචු පෙන්නුවා

- ඒ මොකද බං ඒ කරන්නෙ?
- හිරේ යන ලජ්ජාව ලජ්ජාවක් විදිහට නොසලකා එහෙම කරන්න ඕන. එතකොට දකින උන් හිතනවා මුන් හිරේ යන්නෙ හොඳ වැඩක් කරලා කියලා.

හිරේට ගිය ගමන් ජොන්ටියාට උණ ගත්තා. ඌව මරණ එක පැත්තක තියලා උණ හොඳ කරන්න යැව්වා රෝහලට.
උණ පිටින් මරණ එක යමපලූ හිමිකම්වලට හොද නෑ, ඒ නිසා ඒකගේ උණ හොද කරලා මරන්න ඕන. 
තීන්දුව ඒක. දිගින් දිගටම ජෝනටියා උණ උණ උණ කිය කියා මැරෙන එක කල් දාගත්තා. අපිත් ඒ විදිහටම දන්න කියන ලෙඩ දෙකක් හදාගත්තා. ඉතින් අපි හැමදාම යමලෝකේ හිරේ රෝහලට වෙලා ආතල් එකේ ඉන්නවා. උණ හොද වුණාම අපිව මරයි. හැබැයි ඉතින් මේ උණ හොඳවෙන උණකුත් නෙමෙයි. 

ජිල්ටෝන් අහවරයි
♦ එදිරි